Published
කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය වැඩ තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම රිට් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කතානායකවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම් වරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු 14 දෙනකු නම් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් කටයුතු කළ තමන්ව ඉකුත් ජනවාරි මස 23 වනදා සිට වැඩ තහනම් කිරීමට කටයුතු කෙරුණු බවයි.
ඉන් අනතුරුව පෙබරවාරි මස දෙවන දා චෝදනා පත්‍රයක් ලබා දීමට කටයුතු කෙරුණු බවත් පෙත්සම්කරු සඳහන් කළා.
එම චෝදනා පත්‍රයේ අන්තර්ගත චෝදනා සියල්ල තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව පෙත්සම්කරු සඳහන් කරයි.
ඒ අනුව සිය වැඩ තහනම් කරමින් නිකුත් කර තිබෙන ලිපිය සහ චෝදනා පත්‍රය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඊට අමතරව අදාළ නීති විරෝධී චෝදනා පත්‍රය පදනම් කරගෙන තමන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ රුක්ෂාන් සේනාධිර මහතා සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටි.




