අමාත්‍ය විජිත හේරත් මහතා අද දිනයේ ජර්මනියේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසා ඇත්තේ අමාත්‍යවරයා අද සහ හෙට දිනවලදී ජර්මනියේ සංචාරයක නිරත වීමට නියමිත බවයි.

මෙහිදී වෙළෙඳාම සහ විදේශ රැකියා සම්බන්ධ රැස්වීම් මාලාවකට ද අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වීමට නියමිත බව සදහන්.

ජර්මානු - ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ ජර්මනියේ බ්‍රෙමන් ශාඛාව විසින් කරන ලද ආරාධනාවකට අනුවයි අමත්‍යවරයා මෙම සංචාරය සදහා එක්වන්නේ.

එමෙන්ම බ්‍රෙමන් ශාඛාවේ 125 වැනි සංවත්සර උත්සවයේදී අමාත්‍ය විජිත හේරත් මහතා ආසියාවේ ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කථිකයා ලෙස සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.

ජර්මානු - ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමය යනු ජර්මානු-ආසියානු ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන විශාලතම ජර්මානු සංගමය වන අතර, ආසියා පැසිෆික් කලාපයේ ජර්මානු ව්‍යාපාරික නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සම්බන්ධ කරන ප්‍රමුඛ වේදිකාවක් ද වනවා.

මෙම සංචාරයේදී අමාත්‍ය විජිත හේරත් මහතා, ජර්මානු බළධාරීන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, ශ්‍රී ලංකාව පිළිබඳ ව්‍යාපාරික සාකච්ඡාවකටද සහභාගී වීමටත් නියමිත බව සදහන්.