2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහත දක්වා තිබෙනවා.
2026 මාර්තු 30
ප්‍රවෘත්ති නිවේදනය
2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රෙල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය පිරිනමන ලදී. මාසික පරිභෝජනය ඒකක 30 හෝ ඊට වඩා අඩු ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් සදහා ගාස්තු ඉහල යාම සියයට 4.3කට සීමා කෙරේ. ඒ අනුව එම කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයින් සදහා මාසික විදුලි බිල්පත ඉහල යන්නේ උපරිමය රුපියල් 15කින් පමණි. ගෘහස්ත අංශයේ ඒකක 31ට වැඩි ඒකක 60 හෝ ඊට අඩු පාරිභෝගිකයින් සදහා සියයට 6.9කින් ගාස්තු ඉහල යන අතර එම කාණ්ඩයේ මාසික විදුලි බිල්පතෙහි උපරිම ඉහලයාම රුපියල් 45කි. ඒකක 61ත් ඒකක 90ත් අතර ගෘහස්ත කාණ්ඩය සදහා බිල්පත ඉහලයාම උපරිමය රු. 120ක් වන අතර ප්‍රතිශතක ඉහලයාම සියයට 6.9කි. මාසික විදුලි පරිභෝජනය ඒකක 91ට වැඩි ඒකක 180ට අඩු කාණ්ඩය සදහා සියයට 7.2ක ප්‍රතිශතයකින් ගාස්තු ඉහල යන අතර එම කාණ්ඩයේ විදුලි බිල්පතෙහි උපරිම ඉහලයාම රු. 420කට සීමා වේ.
මාසික ඒකක පරිභෝජනය 180ට වඩා අඩු ආගමික හා පුණ්‍ය ස්ථාන සදහා විදුලි ගාස්තු ගාස්තු ඉහල නොදැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. එම අංශයේ මාසික පරිභෝජනය ඒකක 180ට වඩා වැඩි ස්ථාන සදහා පමණක් සියයට 9.6කින් ගාස්තු ඉහල දැමීමට අනුමැතිය ලබාදී ඇත.
පොදුකාර්ය පාරිභෝගික කාණ්ඩය සදහා විදුලි ගාස්තු සියයට 8කින් ඉහල දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. කර්මාන්ත අංශය සදහා ගාස්තු ඉහල යාම සියයට 8.7ක් වන අතර හෝටල් අංශය සදහා ගාස්තු සියයට 9.9කින් ඉහල දැමීමට අනුමැතිය ලබා දී ඇත. රාජ්‍ය ආයතන සදහා විදුලි ගාස්තුව සියයට 14.4කින් ඉහල දැමීමට අනුමැතිය පිරිනමා ඇත. මෙම අංශ සදහා ද විදුලි ඉල්ලුම කලමණාකරණය කරමින් ගාස්තු ඉහලයාමේ බලපෑම අඩුකර ගත හැකිවන ආකාරයට විදුලි ගාස්තු සංශෝධනය කර ඇත.
කාර්ය බහුල කාලයන්හිදී විදුලි ඉල්ලුම කළමනාකරණය සදහා විදුලි සැපයුම් සමාගම් සහ විදුලි පාරිභෝගිකයින් දිරිමත් කිරීම සදහා ද මෙම ගාස්තු තීරණයේදී පියවර ගෙන ඇත. අනාගතයේදී ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන් සදහා කර්මාන්ත, හෝටල් සහ පොදු කාර්ය අංශ වලට අඩු විදුලි ගාස්තු ක්‍රමයක් හදුන්වාදීම සදහාද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබේ.
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මහජන උපදේශනයක් පැවත්වු අතර එහිදී ඉදිරිපත් වු යෝජනාද සැළකිල්ලට ගන්නා ලදී.
ජයනාත් හේරත්
(අධ්‍යක්ෂ-ආයතනික සන්නිවේදන)



