පවතින වියළි කාලගුණයත් සමඟ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ජලය සැපයීම සීමාකිරීමට සිදුවන බව ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගෙන ජලය අර පිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි මාසය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අතිරේක කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ නිරිත දිග මෝසම මැයි මාසයේ අවසන් භාගයේදි සක්‍රීය වීමට නියමිත බැවින් එම කාලය තුළ පවතින උණුසුම් කාලගුණය තරමක් පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
උණුසුම් කාලගුණය උදෑසන 11 සිට සවස 4 දක්වා වූ කාලය තුළ තදින්ම පවතින බවත් එම කාලය තුළ එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම කිරීමත් නිරන්තර ජලය පානය කිරීමත් වැදගත් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර අද (30) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන්.



