මැදපෙරදිග ඇති වී තිබෙන තත්ත්වයත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉදිරි මාස දෙක තුළදීද හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩ අපනයෙන්දී ඇතිවන බාධා ඉවත් කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම ගැටලුවකින් තොරව අප්‍රේල් මාසය අවසන් වන තෙක් ඉන්ධන ලබා දීමට රජයට හැකියාව පවතින බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ ආහාර සුරක්ෂිතතාවට සිදුවිය හැකි බලපෑම කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් වූ ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා.
ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන්.
ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සංචිතයක් පවත්වාගෙන යෑමටත්, විශේෂයෙන් එළඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය පිළිබඳත්, ආහාර ද්‍රව්‍යවල මිල උච්ඡාවචනයන් සම්බන්ධවත් මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
ප්‍රමුඛතාවක් ලෙස සලකා ආහාර නිෂ්පාදනයට සහ ධීවර ක්ෂේත්රයට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබාදීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට මෙහිදී අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
මෙරට ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී යම් හෙයකින් අදාළ රටවල් විසින් අපනයනට සීමා කරනු ලැබුවහොත් එය කළමනාකරණය කර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද එහිදී වැඩිදුරටත් සාකච්ජා කර තිබෙනවා .




