ඊයේ දිනයේ ආරම්භ කළ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේද ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සිය ගැටලු සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුළුල් සහ අවබෝධාත්මක සාකච්ඡාවක නිරත වුවද තමන් අපේක්‍ෂා කළ ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා අඩාල නොවන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.