වෘත්තීය කාණ්ඩ කිහිපයකට අදාළව පත්වීම්ලාභීන් 154 දෙනෙක් සඳහා පත්වීම් ප්‍රදානෝත්සවය අද දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගීත්වයෙන්.

අද පෙරවරු 11.00 ට කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී මෙම පත්වීම් ප්‍රදානය සිදු කරන බවයි සඳහන් වන්නේ.

විකිරණ ශිල්පී උපාධිය හදාරන ලද හා ශ්‍රවණවේදී කාර්මික ශිල්පීය උපාධිය හදාරන ලද, සය මාසික අනුස්ථාපන සහ සමායෝජන පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද විකිරණ ශිල්පීන් ලෙස 69 දෙනෙකුට සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් ලෙස 10 දෙනෙකුට මෙහිදී නව පත්වීම් ප්‍රදානය කෙරෙනවා.

එමෙන්ම ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ සෞඛ්‍ය රසායනාගාර සහායක හා කීට විද්‍යා ක්ෂේත්‍රයේ උපස්ථායක තනතුරු සඳහා සීමිත පදනම මත බඳවා ගන්නා නිලධාරින් ලෙස කීටවිද්‍යා සහායකයින් 04 දෙනෙකුට සහ රසායනාගාර සහායකයින් 71 දෙනෙකුට ද නව තනතුරට අදාළව පත්වීම් ලිපි ප්‍රදානය මෙහිදී සිදු කිරීමට නියමිතයි.