සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින්ගේ මුදල් ගණුදෙනු කල සැකකරුවන් දෙදෙනෙකු මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් අනාවරණ කරගත් තොරතුරු අනුවයි.

එලෙස අත්අඩංතුවට ගෙන ඇත්තේ අවුරුදු 21 සහ 26 යන වයස්වල පසුවන ආදුරුප්පු වීදිය සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

කොළඹ පිහිටි බැංකුවක ගිණුමකින් ලබා ගත් රුපියල් ලක්ෂ 330ක මුදලක් ද සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇතිබවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මෙම සැකකරුවන් දෙදෙනා දැනට විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් කිහිපදෙනෙකු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාල මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත තැන්පත් කිරීම හා බැහැර කිරීම සිදු කර ඇති බව විමර්ශණ වලදී අනාවරණ වී ඇති බව පොලීසිය පැවසුවා.

මීගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.