වියළා, වර්ණ ගන්වා සකස් කළ සත්ව හම් තොගයක් දිවයිට රැගෙනආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සත්ව හම් තොගය සැකකාර ගුවන් මගියා විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ව්‍යාපාරිකයන් සදහා වූ ” රක්ත මාවත ”ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරීමේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ.
ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ නිලධාරීවරුන් පිරිසක් විසින්.
මුදල් පසුම්බි සකස් කිරීම සදහා කිඹුලන්, පිඹුරන්, වෙනත් උරගයින් සහ වෙනත් සත්වයින්ගේ හම් කොටස් 19 ක් සැකකාර ගුවන් මගියා සන්තකව තිබී සොයාගෙන තිබෙනවා.
ඔහු, වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත , සත්ව රෝග හා සම්බන්ධ වෙනත් අණ පනත් වල සදහන් නීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් එලෙස සත්ව හම් තොගය දිවයිනට රැගෙනවිත් ඇති බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්. තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන එම සත්ව හම් තොගය සිය ගමන් මලු තුළ සගවා ගෙන , ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ, එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණ තිබෙනවා.
අදාළ සැකකාර ව්‍යාපාරිකයා රේගු නිලධාරීන් වෙත මෙම සත්ව හම් තොගය , රෙදිපිළි ලෙස පවසමින් , රේගු නිලධාරීන් නොමග යැවීමට තැත් කර තිබූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.
කෙසේවෙතත් රේගු නිලධාරීන් ඉතා සූක්ෂම ලෙස ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම සත්ව හම් තොගය සොයාගෙන තිබෙනවා.




