මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීම සදහා අද උදෑසන සිටම සැදැහැවතුන් විශාල පිරිසක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටිනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරන ලද එම ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අද උදෑසන හතේ සිට සැදැහැවතුන්ට අවස්ථාව සලසනු ලැබුවා.

ඒ අනුව අද සිට පෙබරවාරි 11 වනදා දක්වා දින 7ක කාලයක් පැය 24 පුරා ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සිදු කරනු ඇති.

මෙහිදී මහජනතාවට ගංගාරාම විහාරස්ථානයට පැමිණීම සඳහා විශේෂ බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පැරණි එම්. ඕ. ඩී. භූමියේ රථගාල හා ලේක් හවුස් වටරවුම අසල රථගාල අසල සිට මෙම බස් රථ සේවා ක්‍රියාත්මක කරනු ඇති.

කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැකි බවයි පොලීසිය පැවසුවේ.

කොටුව දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පිටකොටුවට නොගොස් ඩී. ආර්. විජේවර්ධන මාවත ඔස්සේ පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැකි බවද පොලීසිය පවසනවා.

මෙම බස් රථ සේවාව ලංගම සහ පුද්ගලික බස් රථ මඟින් පැය 24 පුරාම සහනදායි මුදලකට සපයන බවයි පොලීසිය දැනුම් දුන්නේ.

මේ අතර සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන්ට සිය රථ වාහන නතර කිරීම සදහා ගාස්තු අය නොකර රථ ගාල් හදුන්වා දී තිබෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා.

එමෙන්ම ගාස්තු අය කරන රථ ගාල්ද හදුන්වා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේදී 60 දශකයේදී සිදු කරන ලද කැණීම්වලින් සොයා ගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ මෙම ශාරීරික ධාතුන් වහන්සේ මෙහිදී සැදැහැවතුන්ගේ වන්දනාමානය සදහා ප්‍රදර්ශණය කර තිබෙනවා.

මෙම ධාතූන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති වුවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදා වුණා.