ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන තෛපොංගල් උත්සවය අදට යෙදී තිබෙනවා.

සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට සහාය වූ හිරු දෙවියන්ටත්, ගව මහේෂාධී සත්වයන්ටත්, සොබාදහමටත් කෘතවේදීත්වය පිරිනැමීම තෛපොංගල් උත්සවයේදී සිදු කෙරෙන මූලික කර්තව්‍යයක්.

සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවක් වනවා.

තෛපොංගල් දින සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව, ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ අපේක්ෂා දල්වාගෙන, මහත් පරිශ්‍රමයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට අපි එක්ව උර දී සිටින බවයි.

එකී වැඩපිළිවෙළ සමග තව තවත් ශක්තිමත්ව ඇත්වැල් බැඳ ගැනීමට පෙරට එන ලෙස සශ්‍රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් මෙම තෛපොංගල් දිනයේදී සියලු දෙනාගෙන් යළි ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා සිය තෛපොංගල් දින සුබපැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ.

සොබාදහමට වඩාත් සමීප වීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව දැනෙමින් තිබෙන මේ මොහොතේ, සොබාදහම සමඟ ගැඹුරින් බැඳුණු තෛපොංගල් උත්සවය අපගේ ජීවිතවලටත්, සමාජයටත් මහඟු අරුතක් එක් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ඕනෑම අන්ධකාරයකට පසුව ආලෝකයක් ඇති බව අප දැඩිව විශ්වාස කරමු.

තිර අදිටනින් සහ එකමුතුව අභියෝග ජය ගනිමින් “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ගොඩනැඟීමට යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම මහඟු ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සියලු දෙමළ ජනතාවට සෞභාග්‍යවත් සුබ තෛපොංගල් සැමරුමකට ශුභාශිංසන එක් කරන බවද එම සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියද තෛපොංගල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

සොබාදහමට ගරු කරමින් ඊට කෘතවේදීත්වය පල කරන තෛපොංගල් උත්සවය යහපත් සංස්කෘතික වටිනාකම්වලින් හෙබි පුරවැසියන් බිහිකිරීමට කරන මඟපෙන්වීමක් බදු බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.

තෛපොලගල් මංගල්‍යය සමරන දෙමළ ජනතාවගේ සියලු යහත් ප්‍රාර්ථනා ඉටුවේවායි ප්‍රාර්ථනා කරන බවද එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද තෛපොංගල් දින සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

තෛපොංගල් සැමරුමේ සැබෑ අරුත වටහා ගනිමින් මෙම සංස්කෘතික මංගල්‍යය සැමරීමට සියලු දෙනාට හැකි වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන බව එහි සදහන් කර තිබෙනවා.