ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා.

හජ් උත්සවය හරහා අපේක්‍ෂා කරන්නේ කැපකිරීම් සහ පරිත්‍යාගශීලිත්වය බවයි මුනීර් මුලප්පර් මෞලවිතුමන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඒ අනුව ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් බිලියන තුනක් පමණ මක්කම නගරයට එක්රැස් වන බවද ඔහු පැවසුවා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මුනීර් මුලප්පර් මෞලවිතුමන්.

මේ අතර ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ආගමකින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීම බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ලොව නන් දෙසින් මක්කම නගරය වෙත පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මෙම හජ් වන්දනාවෙන් ගම්‍ය වන්නේ අන් සියලු ආගමිකයන් සමඟද සමානාත්මතාවෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණය බව තමන් දැඩි ව විශ්වාස කරන බවයි.

එමෙන්ම ඉන් නිරූපිත කැපවීමේ හා පරිත්‍යාගයේ ජීවන ආදර්ශයෙන් හජ් සැමරුමෙහි මුඛ්‍යාර්ථ සංකේතවත් කෙරෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුර ලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණක්.

රටක් ලෙස අප ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් අප අපේක්ෂා කරන දියුණු සහ ශිෂ්ටසම්පන්න රට ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය සිදු කිරීමේදී සියලුදෙනාගේ සාමුහික උත්සාහය, මැදහත්වීම සහ සහභාගිත්වය ඉතා වැදගත් වනවා.

හජ් සැමරුම එකී පොදු අරමුණ වෙනුවෙන් එක් ව අත්වැල් බැඳ ගැනීමට අගනා අවස්ථාවක් නිර්මාණය කරනවා.

ලෝකවාසී සියලු මනුෂ්‍යයන්ගේ සිත්සතන්හි සමානාත්මතාව, සහෝදරත්වය සහ පරිත්‍යාගය පිළිබඳ හැඟීම් උත්පාද කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ලබා දෙන්නේද මහැඟි පණිවිඩයක් බවයි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හජ් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.