2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රි 12.00 සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාල සීමාව තුල විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම සපුරා තහනම් බවයි.

විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබාගැනීම ද තහනම් වනවා.

යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මෙම නියෝග නොසලකා ක්‍රියා කළහොත් ඔවුන්ව නීතිය හමුවේ වරදකරුවකු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කිසියම් තැනැත්තකු හෝ ආයතනයක් හෝ පාර්ශ්වයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදුකළොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට හැකියාව පවතිනවා.

2025 සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වීමට නියමිතයි.