2025 වසර අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට අදාළ පාසල් අයත් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රවේශපත්‍ර භාරගත යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ.

එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මඟින් යොමු කරනු ඇති.

ඒ අනුව පෞද්ගලික අපේක්ෂකයින් තම ප්‍රවේශපත්‍රවල සංශෝධනයක් තිබේ නම් www.doenets.lk වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර සංශෝධනය කරගත යුතු වනවා.

එමෙන්ම පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍රවලද යම් සංශෝධනයක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය උපයෝගී කරගෙන ගිණුමට ප්‍රවේශ වී අදාළ සංශෝධනය සිදුකළ යුතුයි.

සංශෝධනය සිදුකිරීම ලබන 10 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වනවා. සංශෝධන දිනය නැවත දීර්ඝ කරනු නොලැබෙන බවයි විභාග කොමසාරි ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වන දින සිට 26 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.