2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද සිට ආරම්භ වනවා.
එය ලබන 26 වන දින තෙක් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ 82,249ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 69,214ක් ද වශයෙන් මුළු අපේක්ෂයන් හාර ලක්ෂ 51,463ක් පෙනී සිටීමට නියමිතයි.
සාමාන්‍ය පෙළ විභාගය, විභාග මධ්‍යස්ථාන 3,545ක් පැවැත්වෙනවා.
විභාග කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531 සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
විශේෂ විභාග මධ්‍යස්ථාන ලෙස රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, වටරැක සුනීත විද්‍යාලය, මහරගම අපෙක්ෂා රෝහල, කෛතඩි නෆීල්ඩ් විශේෂ පාසල පිහිටුවා තිබෙනවා.
විභාගය පැවැත්වීමේ දී අවශ්‍ය ආරක්ෂාව පොලීසිය, ත්‍රිවිධ හමුදාව විසින් ලබා දෙන අතර, යම් කිසි ආපදා තත්වයක් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිරන්තරයෙන් කටයුතු කරනු ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සදහන් කළේ.
විභාගයට පෙනී සිටින සිසුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරිම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ වලංගු රියදුරු බලපත්‍රය භාවිතා කළ හැකියි.
විභාග මධ්‍යස්ථානයට අපේක්ෂකයන් පැමිණීමේ දී ජංගම දුරකතන, ස්මාර්ට් බෝඩ්, ඉලෙක්ට්‍රොනික උපාංග, ගණක යන්ත්‍ර, මකන දියර සහ සටහන් පොත් ආදිය රැගෙන යාමෙන් වළකින ලෙසයි විභාග අපේක්ෂකයින්ට දැනුම් දුන්නේ.
සියලුම විභාග අපේක්ෂකයින් තමන්ට ලබා දී ඇති කාලසටහන අනුව විභාගය ආරම්භයට පැයකට පෙර නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතුයි.
විභාග නීතිරීතිවලට අනුකූලව විභාග කාර්ය මණ්ඩලය ලබා දෙන උපදෙස් අනුව කටයුතු කළ යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසුවා.
මෙම විභාගය සඳහා පෙනී සිටින විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් මීට පෙර අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණයට ලක් කර වෛද්‍ය වාර්තා අධ්‍යයනයකින් පසුව අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.




