පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඩිජිටල් රාජ්‍ය කරණයක් සඳහා නවමු පියවරක් තැබීමට සේවක අර්ථසාධක අරමුදල අද පියවර ගත්තා.

ඒ එම අරමුදලේ සේවාවන් රැසක් ඩිජිටල්කරණයට ලක් කරන 'ඩිජිටල් ඊපි එෆ් මෘදුකාංගය හඳුන්වා දෙමින්.

මෙම වැඩසටහන කොළඹ කම්කරු මහලේකම් කාර්‍යාලයේදීය අද පැවැත්වුණේ කම්කරු අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම නව මෘදුකාංගය හඳුන්වා දීමත් සමග කම්කරු කාර්යාල වලට නොපැමිණ සේවායෝජකයන්ට මෙන්ම සේවකයන්ට සේවාවන් රැසක් මාර්ගගතව සිදු කර ගැනීමට අවස්ථාව උදාවනු ඇති.

එම සේවාවන් අතර නව සමාගම් ලියාපදිංචි කිරීම, ලියාපදිංචිය අලුත් කිරීම. සේවකයන්ට විවිධ පෝරම බාර දීම, ඡායාරූප ලබා දීම . බී - කාඩ්පත් ලබා දීම.
ආයතනයකින් තවත් ආයතනයකට මාරු වීමේදී සිදු වන ක්‍රියා පටිපාටිය ආදී සේවාවන් රැසක් සේවායෝජකයන්ට සහ සේවකයන්ට සිය කාර්‍යාල තුලදීම අදාළ සේවාවන් මාර්ගගතව ලබා ගැනීමට හැකියාව පවතිනවා.

වාර්ෂිකව අලුතින් ලියාපදිංචි කෙරෙන ව්‍යාපාර සංඛ්‍යාව 9000 ක් පමණ වනවා.

ඊට අමතරව සේවාවන් ලබා ගැනීමට දෛනිකව කම්කරු කාර්යාල වෙත පැමිණෙන සේවකයන් සංඛ්‍යාව 1400ක් පමණ වන අතර වාර්ෂිකව එය ලක්ෂ 06 ඉක්මවනවා.

ඩිජිටල් ඊපීඑෆ් මෘදුකාංගය හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් කම්කරු අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ කම්කරු විෂයය පථය සහ ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය අතර සුවිශේෂ සම්බන්ධතාවක් පවතින බවයි.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඵලදායිතාව සහ කාර්‍යක්ෂමතාවය ඉහළ නැංවීමේදී තාක්ෂණය මහඟු පිටිවහලක් වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.