එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ෂමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක යන අය අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් මීට පෙර කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද දින සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් මෙම වරෙන්තු නිකුත් කළා.

මෙම නියෝගය ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපළවල් වෙත යැවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා ආගමන හා විගමන පාලක වරයාට නියෝග කර තිබෙනවා.

මේ අතර එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව සැකකරුට ඇප ප්‍රදානය කිරීම සඳහා සුවිශේෂී කරුණු අනාවරණය වී නැතැයි සදහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර කපිල චන්ද්‍රසේන තවදුරටත් අප්‍රේල් මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කළේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.