වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 04 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අවස්ථාවේදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ එම විත්තිකරුවන් දෙදෙනා වැලිසර මහේස්ත්‍රත් අධිකරණය මගින් වෙනත් නඩුවක් සඳහා රිමාන්ඞ් භාරයට පත් කර තිබෙන බවයි.

ඒ අනුව මෙම නඩුව යළි මාර්තු මස 04 වනදා සහ 18 වනදා විභාගය සඳහා යළි කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුට පෙනී සිටි ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියම කළා.

එදින විත්තිකාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් දෙදෙනා රිමාන්ඩ් සිටියේ නම් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කර සිටියා.