අල්ලස් පනත යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 14 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද දින නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණු අතර වැඩිදුර සාක්ෂි විභාගය ලබන 14 වනදා දක්වා කල් තැබීමට නියම කළා.

2016 වසරේ පෙබරවාරි මස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් මස 30 වන දා දක්වා කාලසීමාව තුළ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විත්තිකාර රවී කරුණායක මහතා අදාල නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියා කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ "මොනාර්ක් නිවාස සංකීර්ණයේ" පිහිටි නිවසක පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රවි කරුණාක මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා.

එම කටයුත්තට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දෙවන විත්තිකාර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව එම කොමිසම විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.