දශක 08කට ආසන්න කාලයක සිය මධුර මනෝහර හඬින් මෙරට රසික සිත් සැනසූ හෙළ ගී රැජින කලාශූරී දේශමාන්‍ය ලතා වල්පොල මහත්මිය අද සදහටම ජාතියෙන් සමු ගත්තා.
ඇයගේ දේහය තැන්පත් කෙරුණේ බොරැල්ල පොදු සුසාන භූමියේයි.
පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍ය උත්සව කටයුතු නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරුණා.
පස්වරු 02ට පමණ අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු ආරම්භ කෙරුණේ බෞද්ධ ආගමික වතාවත් ඉටු කිරීමෙන්.
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක කොළඹ හුණුපිටියේ ගංගාරාමාධිපති ආචාර්ය, පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ විසින් පාංශකූල කටයුතු සිදු කරමින් අනුශාසනාවක් පැවැත්වුවා.
කඩවත මාවරමණ්ඩිය, ශ්‍රී ගෞතම විහාරයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පොල්පිති මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේද එහිදී අනුශාසනාවක් සිදු කළා.
කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වා රදගුරු හිමිපාණන් විසින් අවමංගල්‍ය උත්සවයේ කතෝලික ආගමික චාරිත්‍ර සිදු කළේ ඉන් අනතුරුවයි.
ආචාර්ය රොහණ වීරසිංහයන් ද එහිදී විශේෂ දේශනයක් සිදු කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද උත්සව සභාව ඇමතුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ශෝක පණිවිඩය අවමංගල්‍ය උත්සවයට ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින්.
ලතා වල්පොල මහත්මි විසින් ගායනා කළ ගීත කිහිපයක සංගීත අනුඛණ්ඩ වාදනයකින් පසු ස්තුති කතාව සිදු කළේ ඇයගේ මුණුපුරෙකු වන තිසර බණ්ඩාර මහතා විසින්.
ඉන් අනතුරුව හෙළයේ ගී රැජිනගේ දේහය නිදහස් චතුරස්‍ර භූමියේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා රිය පෙරහැරකින් රැගෙන යනු ලැබුවා.
බොරැල්ල පොදු සුසාන භූමියේ දේවස්ථානයේදී කතෝලික ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්.
ඉන් අනතුරුව ඇයගේ දේහය භූමදානය සිදු කෙරෙන ස්ථානය දක්වා රැගෙන යනු ලැබුවා.
පස්වරු 05ට පමණ ලතා වල්පොල මහත්මියගේ දේහය බොරැලල් පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරුණේ දශක 08කට ආසන්න කාලයක් පුරා සිය හඬින් මෙරට ජන හදවත් සැනසූ හෙළ ගී රැජිනගේ සදාතනික මතකය ජාතියට ඉතිරි කර තබමින්.




