පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද සිට ආරම්භ වනවා.

පළමු තරගය අද පැවැත්වෙන්නේ නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතරයි.

කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද රාත්‍රී 07ට ආරම්භවීමට නියමිතයි.

ක්‍රිකට් විචාරකයින් පවසන්නේ මේ වන විට ඉහලම දස්කම් දක්වන කණ්ඩායම් දෙකක් වන නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර මෙම තරගය අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි.

මෙම කණ්ඩායම් දෙක මීට පෙර පළමු වටයේදී මුණ ගැසුණා. එහිදී එම තරගය ජය ගත්තේ දකුණු අප්‍රිකාවයි.

දකුණු අප්‍රිකාව මේ වන විට මෙවර තරගාවලියේ අපරාජිත එකම කණ්ඩායම බවට පත්ව සිටිනවා.

ඔවුන් පළමු වටයේ සහභාගී වූ තරග 4ම ජය ගත් අතර සුපිරි කණ්ඩායම් 08 දෙනාගේ වටයේ සහභාගී වූ තරග 3ම ජය ගත්තා.

කෙසේ වෙතත් නවසීලන්තය පළමු වටයේදී දකුණු අප්‍රිකාව හමුවේද සුපිරි කණ්ඩායම් 08 දෙනාගේ වටයේදී එංගලන්තය හමුවේද පරාජයට පත් වුණා.