2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචනයේදී මේ බව අනාවරණය වුණා.
එමෙන්ම, 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලයන 176කින්ද වර්ධනය වී ඇති බව අයෝජන මණ්ඩලයේ නිලධාරීහු එහිදී පෙන්වා දී තිබෙනවා.
ඔවුන් සඳහන් කර ඇත්තේ 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4,669ක විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි වී තිබෙන බවයි.
මෙරටට ආයෝජන කැඳවා ගැනීමේදී මුහුණදෙන ගැටලු, අභියෝග සහ ඊට ගත හැකි විසඳුම් පිළිබඳව ද එම රැස්වීමේදී අවධානය යොමු කර තිබෙනවා.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය සහ ග්‍රාමීය ජන ජීවිතය ඉහළ තලයකට ඔසවා තැබීමේ කාර්යයෙහි විශාල වැඩකොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරී ඇති බවයි.
සාම්ප්‍රදායික ආයෝජන ක්ෂේත්‍ර කෙරෙහි ආයෝජන කැඳවා ගැනීමේ හැකියාව සීමා සහිත බැවින්, රටක් ලෙස නව ආයෝජන ක්ෂේත්‍ර හඳුනාගත යුතුව ඇති බවත්, එහි වගකීම ආයෝජන මණ්ඩලයට පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවට 1978 වසරේ සිට මේ දක්වා උපයා ගැනීමට සමත්ව ඇත්තේ ඩොලර් බිලියන 22කට ආසන්න ආයෝජන ප්‍රමාණයක් බවයි.
කලාපයේ සෙසු රටවල් සමඟ සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට ගමන් කළ යුතුව තිබෙන බවත්, වියට්නාමය 2022 වසර තුළදී පමණක් ඩොලර් බිලියන 23ක ආයෝජන ඉලක්කයකට ළඟා වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
ආයෝජන දිශාගත කිරීමේදී සේවා අංශයේ ආයෝජන වැඩි කිරීමට අවධානය යොමු කරන ලෙසත් නව ආයෝජන අවස්ථා සොයා ගැනීම ආයෝජන මණ්ඩලයේ අරමුණ විය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.