2030 වසර වන විට වාර්ෂිකව වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව සියයට 23 කින් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබෙන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා.

එම භයානක තත්ත්වයට මුහුණ දීමට සූදානම් වී සිටිය යුතු බවයි ඔහු කියා සිටියේ.

එහි එක් පියවරක් ලෙස පිළිකා හඳුනාගැනීමට මූලිකවම භාවිතා කෙරෙන FDG ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙම ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකර ඇත්තේ කටුනායක, කිබුලාපිටිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සැකසුම් කලාප පරිශ්‍රයේයි.

මෙම සමස්ත ව්‍යාපෘතිය සදහා අමෙරිකානු ඩොලර් හැට අට ලක්ෂ 75,000 ක් ආයෝජනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ ඉදිකරන ලද පරිශ්‍රයක මෙවැනි ඖෂධයක් නිෂ්පාදනය කරන පළමු අවස්ථාව මෙයයි.

FDG යනු පිළිකා හඳුනා ගැනීම සඳහා වන PET SCAN පරීක්ෂණවලදී බහුලවම භාවිතා කරන විකිරණශීලී ඖෂධයක් වනවා.

මෙම ඖෂධය මූලිකවම පිළිකා මුල් අවධියේදී හඳුනා ගැනීම සහ රෝග විනිශ්චය සඳහා යොදා ගනු ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියට හා සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම ව්‍යාපෘතියේ සියයට 10 බැගින් කොටස් හිමිවනවා.

මෙම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසුවේ මෙරට පිළිකා රෝග විනිශ්චය කිරීමට යොදා ගන්නා PET SCAN ක්‍රමවේදයට යොදාගන්නා විකිරණශීලී ඖෂධයක් වන FDG ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුව තිබෙන බවයි.

කෙසේ වෙතත්, එම ඖෂධය ආනයන කර රෝග විනිෂ්චය සඳහා යොදාගන්නා අවස්ථාව වන විට විකිරණ ක්ෂය වීම හේතුවෙන් නිෂ්පාදනයේ දී තිබූ ඖෂධයේ සක්‍රීයතාවයෙන් සියයට 97ක් පමණ අහිමි වන බවද ඔහු පැවසුවා.

මෙම හේතුවෙන් එය රෝග විනිෂ්චයේ PET SCAN නිරවද්‍යතාව පිළිබඳ ගැටළුකාරී තත්ත්වයන් මතුවන බව ද විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා වැඩිදුරටත් පැවසුවා.