ගොඩනගමු ශ්‍රී ලංකා යන තේමාව යටතේ 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍රය අභියසදී අද පෙරවරුවේ අභිමානවත් අයුරින් පැවැත් වුණා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරින්, තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

උදෑසන 08.00ට පමණ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියත් සමග උත්සවයේ වැඩකටයුතු ආරම්භ කෙරුණා.

ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීම සිදු කලේ මගුල් බෙර වාදනය මධ්‍යයේයි. අනතුරුව ජාතික ගීය ගායනය කෙරුණේ මෙලෙසයි.

ජාතික නිදහස් දින සැමරුම් උළෙලට ආශීර්වාද කරමින් පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා සහ “දේවෝ වස්සතු කාලේන” ආශිර්වාදාත්මක ගාථා ඉදිරිපත් කිරීම ඉන් අනතුරුව සිදු කෙරුණා.

ජනාධිපතිවරයා වෙත ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිරිනැමීම සදු කෙරුණේ ඉන් අනතුරුවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය ඇමතීම අනතුරුව සිදු කෙරුණා.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකල කතාවෙන් අනතුරුව 78 වන නිදහස් උළෙලේ හමුදා පෙළපාලිය ආරම්භ වුණා.

යුද, ගුවන්, නාවික හමුදා මෙන්ම පොලිස්, සිවිල් ආරක්ෂක සහ ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයන් එම පෙළපාලියට එක්ව සිටියා.

ආචාර පෙළපාලියෙන් අනතුරුව විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින් ද නිදහස් උළෙල වර්ණවත් වුණා.

එලෙස අභිමානවත් හා චාම් ලෙස පැවති 78 වන නිදහස් දින ජාතික සැමරුම් උළෙල නිමාවට පත් වුණේ ජාතික ගීය දෙමළ බසින් ගැයීමෙන් අනතුරුවයි.