අදට යෙදී ඇති 78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි සෙසු නිලයන් 9,158 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් දක්වා උසස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි සේවයේ නියුතු 206 දෙනෙකු බළලත් නිලධාරී II නිලයේ සිට බළලත් නිලධාරී I නිලය දක්වා උසස් කර ඇති බවයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනය කලේ.

මාණ්ඩලික සැරයන් නිළයේ සිට බළලත් නිලධාරී - II දක්වා 1,211 දෙනෙකු ද, සැරයන් නිලයේ සිට මාණ්ඩලික සැරයන් දක්වා 1,704 දෙනෙකු ද, කෝප්‍රල් නිලයේ සිට සැරයන් දක්වා 2,339 දෙනෙකු ද උසස් කර තිබෙනවා.

ලාන්ස් කෝප්‍රල් නිලයේ සිට කෝප්‍රල් දක්වා 2,204 දෙනෙකුට ද සහ සාමාන්‍ය සෙබළ නිලයේ සිට ලාන්ස් කෝප්‍රල් දක්වා 1,440 දෙනෙකුටද උසස්වීම් හිමිවන බවයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වැඩිදුරටත් සඳහන් කලේ.