ලොව පුරා ක්‍රිකට් ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටින 2026 IPL, ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද රාත්‍රි 7යි 30 ට බෙංගලූරු හිදී ආරම්භ වනවා.

සමාරම්භක තරගයේදී වත්මන් ශූර රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම එකිනෙකා මුණගැසීමට නියමිතයි.

කෙසේ වෙතත්, තරගාවලිය ආරම්භ වීමටත් පෙර රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ද එතරම් සුබදායී නොවන පුවතක් වාර්තා වනවා.

ඒ, එම කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා වේගපන්දු යවන්නා වන නුවන් තුෂාරට මෙවර තරගාවලියේ මුල් තරග කිහිපය අහිමි වීමේ අවදානමක් මතුවීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් නුවන් තුෂාර අසමත් වීම මෙයට හේතුව වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා තහවුරු කළේ, අදාළ පරීක්ෂණයේදී ලබාගත යුතු ලකුණු 29න් අවම ලකුණු 17 සීමාව පසු කිරීමට තුෂාර අපොහොසත් වූ බවයි.

මේ හේතුවෙන් ඔහුට IPL තරගාවලිය සඳහා වන නිල අවසර පත්‍රය මෙතෙක් හිමිව නැහැ.

මේ අනුව, අද පැවැත්වෙන සමාරම්භක තරගය මෙන්ම අප්‍රේල් 05 වැනිදා චෙන්නායි කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගය ද ඔහුට අහිමි වනු ඇති.

කෙසේ වෙතත්, දින 4ක් හෝ 5ක විවේකයකින් පසු ඔහුට නැවතත් මෙම පරීක්ෂණයට පෙනී සිටීමට අවස්ථාව පවතිනවා.

නුවන් තුෂාරට අමතරව තවත් ප්‍රබල ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මතීෂ පතිරණ සහ වනිඳු හසරංග ද ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් මෙතෙක් යෝග්‍යතා පරීක්ෂණ සඳහා පෙනී සිට නැහැ.

රුපියල් කෝටි 18ක වාර්තාගත මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගත් මතීෂ පතිරණ, අප්‍රේල් මැද භාගය වන තෙක් කණ්ඩායම සමඟ එක් නොවන බව එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අභිෂේක් නායර් තහවුරු කර තිබෙනවා.

එමෙන්ම ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන වනිඳු හසරංග ද සිය ආබාධය සඳහා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණ හේතුවෙන් මෙවර IPL තරගාවලියේ කාලසටහන නිකුත් කර ඇත්තේ අප්‍රේල් 12 දක්වා පැවැත්වෙන මුල් තරග 20 සඳහා පමණක් වන අතර, අවසන් මහා තරගය මැයි 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.