ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය යටතේ QR කේතය ලබාගැනීමේදී පවතින තාක්ෂණික ගැටලු අද පෙරවරුව වන විට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විශ්වාසය පළ කරනවා.

මෙහිදී 2023 වසරේ අගෝස්තු මාසයෙන් අනතුරුව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා නීත්‍යානුකූලව හිමිකාරීත්වය පවරා ගන්නා ලද වාහන සදහා නව QR කේතයක් ලබාගත යුතුයි.

එමෙන්ම යම් QR කේතයකට අදාළ දුරකථන අංකයක හිමිකාරීත්වය මාරු වී ඇත්නම් හෝ අදාළ දුරකථන සබඳතාව විසන්ධි වී ඇත්නම්, එවැනි පාර්ශ්වයන් පිළිබඳ තොරතුරු අදාළ ජංගම දුරකථන සේවා සපයන සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය යටතේ QR කේතය ලබාගැනීමේදී පවතින තාක්ෂණික ගැටලු මේ වන විට සාර්ථකව නිරාකරණය කරමින් පවතින බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව, අද පෙරවරුව වන විට පවතින සියලු බාධාවන් ඉවත් කර පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි එම අමාත්‍යාංශය විශ්වාසය පළ කළේ.

QR කේතය ලබාගැනීමේදී නව ලියාපදිංචි කිරීම් සඳහා අවශ්‍ය වන පද්ධති යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදුකෙරෙමින් පවතින බව ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවා.

එමෙන්ම දුරකතන සමාගම් විසින් ලබාදෙන යාවත්කාලීන දත්ත මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා පද්ධතියට ඇතුළත් කිරීමේ කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක වන බවයි අමාත්‍යංශය සදහන් කළේ.

මේ අතර, ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේදී අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ව්‍යාජ සබැඳි වෙත ප්‍රවේශ වී තම පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.