පොලිස් අණ නොතකා පලායමින් සිටි වෑන් රථයක් නැවැත්වීම සදහා පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.
කයිට්ස්, අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැක කටයුතු වෑන් රථය නැවැත්වීමට පොලීසිය විසින් සංඥා කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
එහෙත් එම වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට ධාවනය කර තිබෙනවා.
එම අවස්ථාවේ මණ්ඩතිව් මාර්ග බාධකය පරීක්ෂාව සදහා ගොස් අල්ලපිඩ්ඩි දෙසට ධාවනය කරමින් තිබූ කයිට්ස් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථයට මේ බව දැනුම් දි ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
ඒ අනුව ජීප් රථය එම වෑන් රථය නවත්වා ගැනීම සදහා උත්සාහ කළද එය තවදුරටත් නොනවත්වා පලා යාම හේතුවෙන් පොලීසිය අහසට වෙඩි තබා වෑන් රථය නවතා ගැනීමට උත්සාහ කර තිබෙනවා
කෙසේවෙතත් එම අවස්ථාවේදීත් නොනවත්වා පලා ගිය වෑන් රථය නවතා ගැනීම සදහා වෑන් රථයට වෙඩි තැබූ බවයි පොලීසිය පැවසුවේ.
එහිදී තුවාල ලැබූ වෑන් රථ රියදුරා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු වයස අවුරුදු 17 ක් වූ වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
පොලිස් නිලධාරීන් විසින් අදාළ වෑන් රථය පරීක්ෂා කිරීමේදී එහි පිටුපස ආසන ගලවා තිබූ බවත් වෑන් රථයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිස් ස්ථානය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




