රටක් වශයෙන් අපේක්ෂා කරන පරිවර්තනීය වෙනස උදාකර ගැනීම සඳහා දියුණු මානව සම්පතක් අත්‍යවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ඒ සඳහා විධිමත්ව ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම රජයේ මූලික ප්‍රමුඛතාවය බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක ඊයේ සිදුකළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.

මෙම සංචාරයේදී බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසල සහ එහි ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, 2026 වසරේ පළමු වසර සිසුන් සඳහා හඳුන්වා දුන් නව වැඩපොත්, මූලික විෂයමාලාවේ ප්‍රගතිය සහ පන්ති කාමර ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බලා තිබෙනවා.

අනතුරුව වීරකැටිය රජපක්ෂ ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දුන් පළමු වසර පන්ති කාමර සහ ඉගැන්වීම් ක්‍රමවේද නිරීක්ෂණය කළ අතර දරුවන් සමඟ සුහද කථාබහකටද නිරත වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

වීරකැටිය මධ්‍ය විද්‍යාලය සහ වීරකැටිය ප්‍රාථමික විද්‍යාලය, හම්බන්තොට ලුණම දුටුගැමුණු මහා විද්‍යාලය යන පාසල් නිරීක්ෂණයට ද අග්‍රාමාත්‍යවරිය එක්ව තිබෙනවා.