අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්තාවයේදී ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමටයි විපක්ෂය තීරණය කර ඇත්තේ.
මේ අතර බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
අදාළ අමාත්‍යාංශ නිලධාරීන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිටි එම සාකච්ඡාවේදි ඊට අදාළව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් පිළිබඳ දීර්ඝ ලෙස විමසා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එමෙන්ම, බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීම සහ ඒ වෙනුවෙන් ගත හැකි විකල්ප ක්‍රියාමර්ග පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක් ව තිබෙනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.




