Published
රුපියල් මිලියන 46 කට ආසන්න වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අනූෂ පැල්පිට පෙබරවාරි 20 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද නියෝග කළා.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අල්ලස් කොමිසමේ විමර්ශන නිළධාරියා මෙම සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර තිබෙන විමර්ශන වල ප්‍රගතිය දැනුම් දුන්නා.
එම නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2012 වසරේ මාර්තු 31 වන දා සිට 2014 වසරේ මාර්තු 31 වනදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 46 කට ආසන්න වත්කම් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.
ඊට අමතරව සැකකරු 2006 සිට 2026 දක්වා කාලය අතරතුරදී රුපියල් මිලියන 11ක ආදායමක් උපයා ඇති බවට කරුණු අණාවරණය වී ඇතැයි සඳහන් කළ එම නිලධාරියා එම මුදල් කොටස් දෙකකට තමන්ට ලැබූ බවට සැකකරු විසින් සදහන් කර තිබෙන බවත් පැවසුවා.
එම රුපියල් මිලියන 11ක ආදායම ලද ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කළ සැකකරු එක් අවස්ථාවක බිරිඳගේ පියා අන්තිම කැමති පත්‍රයකින් ඇල්පිටිගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ලබා දුන් බවත් එය විකුණා මුදල් ලබා ගත් බව ඔහු විසින් සදහන් කර ඇති බවත් එම නිලධාරියා පැවසුව
ඊට අමතරව සැකකරුගේ බිරිඳගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයාද තමන්ට මුදල් ලබා දී ඇති බවට සැකකරු ප්‍රකාශ කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
මෙසේ ලද රුපියල් මිලියන 11ක මුදල කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට හා නිවස අලුත්වැඩියා කටයුතු සඳහා යොදා ගත් බව සැකකරු විසින් ප්‍රකාශ කළද එම ප්‍රකාශ සියල්ල එකිනෙකට පරස්පර බවත් විමර්ශන සදහන් කර සිටියා.
ඒ අනුව මෙම විමර්ශනයට අදාළව තවත් පුද්ගලයින් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බැවින් මෙම සැකකරුට ඇප නියම කළොත් විමර්ශන කටයුතු වලට බාධා සිදුවිය හැකි බවත් ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එම නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා විමර්ශනවලට අවශ්‍ය සියලු සහාය ලබා දී තිබෙන බව සඳහන් කළා.
සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති හෙයින් සැකකරු ඇපමත මුදාහරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරු පෙබරවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළා.




