අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පදවන පුද්ගලයන් පිළිබඳ වීඩියෝ දර්ශන යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් 070-4755600 දරන විශේෂ WhatsApp අංකය හඳුන්වා දී තිබේ. වර්තමානයේ සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් මාර්ග නීති උල්ලංඝනය කරමින් අනෙක් පුද්ගලයන්ගේ ජීවිත අනතුරේ හෙළන රියැදුරන් පිළිබඳ දර්ශන මුදාහැරීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති අතර, රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. ඒ අනුව, අධික වේගයෙන් රිය ධාවනය, අනාරක්ෂිත ලෙස ඉස්සර කිරීම් හෝ දුම්රිය මාර්ග හරහා අපරීක්ෂාකාරීව ධාවනය කිරීම වැනි වැරදි නිරීක්ෂණය වූ වහාම එම වීඩියෝ දර්ශන සමඟ අදාළ ස්ථානය, දිනය සහ වේලාව සඳහන් කර ඉහත අංකයට යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි