2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් අද දිනයේදී රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් විරෝධතාවක නිරත වීමට තීරණය කර තිබෙනවා.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

ඒ අනුව, අද දිනයේදී දිවයින පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තීය සමිති සන්ධානය ධම්මික මුණසිංහ මහතා පැවසුවා.
"සමස්ත රාජ්‍ය සේවකයොම රුපියල් 25,000ක අතුරු දීමනාවක් ඉල්ලලා ජාතික විරෝධතා දිනය පවත්වනවා. මාලිමා ආණ්ඩුවේ තුන්වෙනි අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අයවැයෙන් මේ රටේ වැඩ කරන ජනතාව අමතක කරලා තියෙනවා. විශේෂයෙන් ගත්තොත් පාර්ලිමේන්තුව ඇතුළේ මැති ඇමතිවරු ඇවිල්ලා කියනවා මේ අයවැයෙන් ජීවන වියදම ගළපලා නෑ, උද්ධමන දීමනාවක් දීලා නෑ කියලා. ඒකෙන්ම පැහැදිලියි මේ ආණ්ඩුව මේ රටේ වැඩ කරන ජනතාව අමතක කරලා කියලා. ඉතින් පහුගිය කාලේ අපි දැක්කා ආණ්ඩුව පැත්තෙන් මැති ඇමතිවරු ඇවිල්ලා මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විවිධ කතන්දර කිව්වා. නමුත් දැන් ආණ්ඩුවට දැන් බලාගන්න පුළුවන් මේ රටේ සමස්ත වැඩ කරන ජනතාව විශේෂයෙන් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, තැපැල්, සෞඛ්‍ය, ගුරු, තාක්ෂණ සේවා මේ කියන සියලුම රියදුරන් මේ සමස්ත රාජ්‍ය දවල් 12 - 1 පැය ජාතික විරෝධතාවක් විදිහට පවත්වනවා. උද්ඝෝෂණ පාගමන් පවත්වනවා. ඒ වගේම ආණ්ඩුව මේකට ප්‍රතිචාර දෙන්නේ නැත්නම් නොවැම්බර් 30 සමස්ත මහා වැඩ වර්ජනයකට යන්නයි තීරණය කරලා තියෙන්නේ."

මේ අතර ගුරු, විදුහල්පති හා අනධ්‍යයන කාර්ය මණ්ඩල කළු ඇදුමින් අද පාසලට පැමිණ විරෝධතාවයේ නිරත වන බවයි විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන් කොටුව මහතා පැවසුවේ.
"රටේ සමස්ත රාජ්‍ය සේවකයෝ මේ අයවැයෙන් තමන් බලාපොරොත්තු වුණු සහන ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳව තමන්ගේ විරෝධතාවය, බුර බුරා නැගෙන විරෝධතාවය රටේ සියලු රාජ්‍ය ආයතන වලින් පෙන්නුම් කරනවා. රාජ්‍ය ආයතන ඉස්සරහා දවල් 12 කෑම පැයේදී ඔබට දැක බලාගන්න පුළුවන් වෙයි විරෝධතා ව්‍යාපාර. ඒ වගේම රටේ සමස්ත පාසල් පද්ධතිය පුරාම හෙට දවසේ ගුරුවරු, විදුහල්පතිවරු, අනධ්‍යයන සේවකයින්, පාසල් සංවර්ධන නිලධාරීන් සියලුම නිලයන් හෙට දවසේ වෙන ලංකාවේ වෙන කවදාවත් නොකරපු විදියට කළු ඇඳුමින් සැරසිලා පාසල් එනවා ඔබට බලාගන්න හැකි වෙයි."

කෙසේවෙතත් එම වෘත්තිය සමිති සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.
"අපි අහනවා මේ රටේ සමස්ත වැඩ කරන ජනතාවගෙන් 48 වෙනකම් පඩි වැඩි කරන්න, 48 වෙනකම් රට හදන්න, ආර්ථිකය හදන්න, 48 වෙනකම් බඩු මිල අඩු කරන්න තමයි රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරලා තිබුණේ. 48 තමා අවුරුදු 24කින් මෙහාට ගෙනැල්ලා 24 අගභාගයේ පත් වෙච්ච අපේ ආණ්ඩුව 25 සිට දෙන්න පුළුවන් උපරිම සහන ලබා දෙමින්... මුළු රටෙන්ම දෙතුන් සීයක් එකතු කරගන්න බැරි අපේ රටේ තියෙන රතු පාට තවර ගත්ත දේශපාලන කල්ලියක් ඉන්නවා. ඒ කල්ලිය සෑහෙන වෙහෙසක් දරනවා මේ... ඒ කල්ලිය විශේෂයෙන්ම සංවර්ධන නිලධාරීන් තුළ වැරදි මත හදමින් මේ විපක්ෂයේ මේ සුන්බුන් විපක්ෂයේ උවමනාව ඉටු කරන්න මේ කල්ලියත් සැලකිය යුතු දායකත්වයක් දරනවා. අපි ඒ හැමෝටම සොරි, සොරි. අපි ඒ කිසිවකට යට වෙන්නෙවත් නැමෙන්නෙවත් නෑ."