මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් සකස් කල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අද දිනයේ මුද්‍රණය කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එය රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ජනතාවට ලබා දීමට නියමිතයි.

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් පැනනැගුණා.

එය තවත් උත්සන්න වුණේ 2024 වසරේදී විසුරුවා හැරි ‘රාජ්‍ය නැකැත් කමිටුව වෙනුවට මේ දක්වා රජය විසින් නැවතත් නැකැත් කමිටුවක් පත් නොකිරීමත් සමගයි.

මෙවර අවුරුදු නැකැත් ප්‍රකාශයට පත් කෙරුණේ පෝය කමිටුවේ සාමාජිකයන් විසින් බවට ජ්‍යොතිර්වේදීන් පිරිසක් ආණ්ඩුවට චෝදනා කළා.

ඔවුන් සිය අප්‍රසාදය පළ කරමින් පැවසුවේ රාජ්‍ය නැකැත් කමිටුවක් පත්කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව ඈපා පංචාංග ලිත් කතෘ, තිරසර පංචාංග ලිත් කතෘ සහ විකල්ප නැකැත් කණ්ඩායමේ සාමාජිකයින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා සමඟ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා.

එහිදී අවසන් එකඟතාවයට පැමිණි ඇත්තේ ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කිරීමටයි.

ඒ, මේ වන විට අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරන දෙපාර්ශවයේම එකඟතාවය මතයි.