සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව කඩිනමින් ජනතාවට ලබා දීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ජෝතිෂ්‍යවේදීන් සමග ඒ පිලිබද සාකච්ඡා කරමින් ඇති බවයි.

මෙවර රාජ්‍ය හිසතෙල්ගෑමේ මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේ දී සිදු කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙම රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද සංස්ථාව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධවයි සංවිධානය කිරීමට නියමිතව ඇත්තේ.

ඊට සමගාමීව සාම්ප්‍රදායිකව 2026 හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පිළිබඳ, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශවීය අතිපූජ්‍ය මහානායක, අනුනායක ස්වාමින් වහන්සේලා බැහැ දැක උන්වහන්සේලාට ආරාධනා කිරීම ඊයේ සිදු කෙරුණා.

මහනුවර රජ දවස අවුරුදු සිරිත් පැවැත්වීමේ වැදගත් ස්ථානයක් දළදා මාලිගයට සහ රජ මාලිගයට හිමිව තිබූ බවයි මෙහිදී ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කර ඇත්තේ.

අතීත චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරමින් වර්තමානයේ දී හිසතෙල් ගෑමේ චාරිත්‍රයේ ප්‍රධාන රාජ්‍ය උත්සවය නාථ දේවාලයේ දී පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශවීය අතිපූජ්‍ය මහානායක, අනුනායක ස්වාමින් වහන්සේලා මෙහිදී සිය ප්‍රසාදය ද පළ කර තිබෙනවා.