2021 වසරේ සතොස ආයතන විසින් සහන මිලට මහජනතාවට විකිණීමට වෙන්කර තිබූ සුදුලූණු කිලෝ ග්‍රෑම් 54,860 ක් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර අඩු මුදලකට පුද්ගලික ව්‍යාපාරික ආයතනයකට විකිණීම තුළින් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික පාඩුවක් සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම ආයතනයේ හිටපු ජේ්‍යෂ්ඨ කළමනාකරුවකු ඇතුළු සැකකරුවත් තුන්දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කර තිබුණා.

එහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ 2021 වසරේ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද බහාලුම් දෙකක අඩංගු සුදුලූණු කිලෝග්‍රෑම් 54,860 ක් සතොස ආයතනය හරහා සහන මිල ගණන් යටතේ මහජනතාවට විකිණීම සඳහා එවක වෙළද ඇමැති වශයෙන් කටයුතු කළ බන්දුල ගුණවර්ධන සහ වරාය ඇමති වශයෙන් කටයුතු කළ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගෙන තිබූ බවයි.

එසේ තිබියදී අදාල සුදුළුණු තොගය මහජනතාවට අලෙවි නොකොට එස්.එන්.එන්ටර්ප්‍රයිසස් නමැති සමාගමකට අලෙවි කර ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ සදහන් කළා.

සතොස ආයතනය විසින් එම වකවානුවේ සුදුලූණු කිලෝවක් රුපියල් 445 කට අලෙවි කරද්දී එම සුදු ලුණු කිලෝවක් රුපියල් 135 ක් වැනි අඩු මුදලකට අලෙවි කිරීම තුළින් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂ හයදහස් හයසිය හැටක පාඩුවක් සිදුකර ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ අදාළ සුදුලූණු තොගය අලෙවි කිරීමට තීන්දු කළේ මෙම සැකකරුවන් නොව සතොස ආයතනය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවයි.

අදාල සුදුලූණු තොගය නරක්වීමට ආසන්න තත්ත්වයේ තිබූ බැවින් එලෙස විකිණීමට කටයුතු කෙරුණු බවත් මෙම තීරණයට තම සේවා දායකයින්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් විත්තියේ නීතිඥවරුන් සඳහන් කළා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියම කළා. ඉන් අනතුරුව මෙම නඩුව ජුනි මස 09 වනදා යළි කැඳවීමට නියම වුණා.