ආසන පටි නොමැති රථ වාහන අධිවේගී මාර්ගවලට ඇතුළු කිරීමට අද සිට අවසර ලබා නොදෙන බව පොලීසිය පවසනවා.
ඒ අනුව අද සිට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලීසිය පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ද අදහස් පලකලා.
''අත්‍යවශ්‍ය නීති ප්‍රමාණයක් හඳුන්වා දීලා තියෙනවා මාර්ග ආරක්ෂාව වෙනුවෙන්. හඳුන්වා දෙමිනුත් ඉන්නවා. ඒකෙන් එකක් තමයි අධිවේගී මාර්ගවල සෑම කෙනාම සීට් බෙල්ට්ස් පළඳින්න ඕන කියන නීතිය. ඒ නීතිය දැන් අපි ගෙනැල්ලා අවුරුද්දක් වෙනවා. අධිවේගී මාර්ගයේ ඉස්සරහා සීට් එකේ යන අයත් පස්සෙ සීට් එකේ යන අයත් සෑම කෙනාම සීට් බෙල්ට් දාන්න ඕන කියන නීතියට අවුරුද්දක් වෙනවා. ඒක අලුත් නීතියක් නෙමෙයි, ඒක අවුරුද්දක්.අද පටන් ගන්න එක තමා, අධිවේගී මාර්ගවල යන වාහනවල සමහර වාහන තියෙනවා නිෂ්පාදකයා විසින් සීට් බෙල්ට් සවි කරලා එවපු නැති ඒවා, විශේෂයෙන්ම පරණ වාහන. ඉතින් අපි කරපු දේ තමයි, අපි නීති කියන ඒවා අපි දන්නවා මහජනතාවට අදාළ දේවල්, ඒ නිසා අපිට ආපු උවමනාවට තිබ්බ පලියට අපි නීති පටවන්නේ නෑ, විශේෂයෙන්ම මේවා සාමාන්‍ය මේ දේවල් නිසා. ඒ නිසා අපි අවස්ථා හතරකදී ගැසට් දික් කර කර අපි අවස්ථාව දුන්නා වාහනයේ සීට් බෙල්ට් හයි කරලා නැතුව එන වාහනවල අයිතිකරුවන්ට සීට් බෙල්ට් හයි කරන්න. ඉතින් ඒ එහෙම හයි කරගත්තු අයට පමණයි අධිවේගී මාර්ගවල නීත්‍යානුකූලව ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ."
ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම රථ වාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් ද ආසන පටි පැළඳිය යුතු වනවා. පොලීසිය පැවසුවේ ආසන පටි නොපැළඳීම හේතුවෙන් රිය අනතුරු හා අනතුරුවලින් සිදුවන අවදානම් ඉහළ යන බැවින් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.




