පොලීසිය අල්ලන මත්ද්‍රව්‍යවලට වෙන්නේ මොකක්ද?

එය සමාජයේ බොහෝ දෙනෙකු විමසන ප්‍රශ්නයක්. එම ප්‍රශ්නයට පිළිතුරු සපයන පුවතක් මේ.

පොලිස් භාරයට ගැණුනු හෙරොයින් කිලෝ 106යි ග්‍රෑම් 248ක් සහ අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90.5ක් අධිකරණ නියෝග මත විනාශ කිරීම අද සිදු කෙරෙනවා.

පොලීසිය පැවසුවේ වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උදුනේදී උදෑසන 09.00ට එම මත්ද්‍රව්‍ය තොගය විනාශ කරන බවයි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් එම මත්ද්‍රව්‍ය තොගය අද උදැසන 06.00ට භාර ගැනීමට නියමිත බවද පොලීසිය පැවසුවා.

2021 වසරේ සැප්තැම්බර් මස 07 වනදා මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත නාවික හමුදාවේද සහාය ඇතිව එම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.