ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ජ්‍යෙෂ්ඨ නිලධාරි නිල සංචාරයක් සඳහා 2026 ජනවාරි මස 06 දින සිය භාර්යාව සුනීතා ද්විවේදි මහත්මිය සමඟ දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ. දොලගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා විසින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති පිළිගනු ලැබුවා.

ඉන්දියානු යුද්ධ හමුදාධිපති සිය සංචාරය අතරතුරදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවලදී පුහුණු සහයෝගීතාවය සහ කලාපීය ආරක්ෂක කරුණු කෙරෙහි අවධානය යොමු කරන අතර දෙරටේ හමුදාවන් අතර වෘත්තීයමය සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉහළ නැංවීම මෙම හමුවීම්වල ප්‍රධාන අරමුණ වනවා.

යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂවරුන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.