විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියානු කණ්ඩායම පකිස්තානු කණ්ඩායම අතර තරඟය අද රාත්‍රී 07.00 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා.

ඒ කාණ්ඩය යටතේ මෙම තරගය ආරම්භ වන අතර මේ දක්වා කණ්ඩායම් දෙකම ක්‍රීඩා කළ සියලුම තරඟ ජයග්‍රහණය කර තිබෙනවා.

අද තරඟය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරඟය සම්බන්ධයෙන් නොයෙක් මතවාදයන් ඉදිරිපත් වුණා.

කෙසේ වෙතත් පකිස්ථාන ක්‍රිකට් ආයතනය ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ඉන්දීය කණ්ඩායම සමග ලෝක කුසලාන තරගාවලියට අදාලව පැවැත්වෙන තරග වර්ජනය කරන බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද පකිස්ථාන් ක්‍රිකට් ආයතනය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස පකිස්ථාන රජයෙන් ඉල්ලා සිටියා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අගමැතිවරයා අතර දුරකතන සංවාදයක් ද සිදුවූ අතර එම සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස පසුව පකිස්තාන් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම තරගයට පකිස්ථාන රජයේ අවසර ලබා දෙන බවයි.