කොළොන්නාව සහ අනෙකුත් ගබඩා මගින් සියළුම පිරවුම්හල් සදහා ඉන්ධන නිකුත් කිරීම අද පෙරවරුවේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න මහතා පැවසුවේ ඉන්ධන තොග අවසන් වී ඇති සියලුම පිරවුම්හල්වලට අද පස්වරු වනවිට අවශ්‍ය ඉන්ධන තොග ලැබෙනු ඇති බවයි.

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ පද්ධතියේ පවතින සුළු ගැටළු හේතුවෙන් පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින බවද ඔහු කියාසිටියා.

මේ අතර ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් වසා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. අද පෙරවරුව වනවිට දඹුල්ල නගරය සහ අවට සියළුම පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන්ව තිබූ බව නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවා.

මහනුවර නගරය සහ අවට ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල අද පෙරවරුව වනවිට ඉන්ධන තොග අවසන්ව තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ.

මාතර නගරයේ සහ අවට ප්‍රදේශවල ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද ගෙන්.

මේ අතර ඉන්ධන මෙටි්‍රක් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද දිනයෙදි මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඉදිරි දින කිහිපයේ දී තවත් ඉන්ධන නෞකා 03ක් දිවයිනට පැමිණීමට නියමිත බවයි එම සංස්ථාව පැවසුවේ.
ඉන්ධන බෙදා හැරීම සදහා ූඍ කේතය ක්‍රියාත්මක කළ ද රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් මතු වී නොමැති බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සදහන් කළා.