දින 35ක් සඳහා අවශ්‍ය ඉන්ධන තොග රට තුල පවතින බැවින් ඉන්ධන හිගයක් ඇතිවේ යැයි ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගතයුතු බව රජය යළි අවධාරනය කරනවා.
තවත් මාස 04ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග දැනටමත් ඇනවුම් කර ඇති බවයි බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය එම් අයි අම් අර්කම් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
එම ඉන්ධන තොග මිලදී ගනු ලබන්නේ සිංගප්පූරුව සහ ඉන්දිය වෙළදපොල හරහා බැවින් ඉරානයේ මතුව ඇති තත්වය හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුමට සෘජු බලපැමක් එල්ලවී නොමැති බවද බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය එම් අයි අම් අර්කම් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා.
මේ අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල අදත් පෝලිම් දක්නට ලැබුණු බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පැවසුවේ ඇතැම් පුද්ගලයින් අනවශ්‍ය බියක් ඇතිකර ගෙන වැඩි වශයෙන් තෙල් මිලදී ගැනීමට පැමිණීම හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙන බවයි.
මතුව ඇති තත්වය හේතුවෙන් පොහොය දිනයක් වන අද දිනයේද ඉන්ධන බෙදා හැරීම සිදුවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා වැඩිදුරටත් සදහන් කලා.



