එළඹෙන දෙසැම්බර් නිවාඩු සමය සහ උත්සව සමය ඉලක්ක කර ගනිමින් බීමත් රියදුරන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසනවා.
ඒ සඳහා සියලුම පොලිස් ස්ථාන වෙත ප්‍රමාණවත් පරිදි ශ්වසන පරීක්ෂණ උපකරණ ලබා දී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සමඟ එක්ව ජංගම රථ මගින් අහඹු ලෙස මත්ද්‍රව්‍ය පරීක්ෂාවන් සිදු කිරීමටත් නියමිතය බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසුවේ.
මේ අතර මෙම වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2,463 ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජනවාරි පළමු වනදා සිට නොවැම්බර් 21 වනදා දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු සංඛ්‍යාව 2,330 ක්.
මිහින්තලය - රඹෑව ප්‍රදේශයේ පසුගියදා සිදුවූ අනතුර වැනි ඇතැම් අනතුරුවලින් එකවර ජීවිත කිහිපයක් අහිමි වීම මෙම මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති බවද රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසනවා.
මෙම අනතුරුවලින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ යතුරුපැදි අනතුරුවලින් වන අතර, එම සංඛ්‍යාව 900කට ආසන්නයි. ඊට යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් ද ඇතුළත්.
එමෙන්ම, අනතුරුවලින් මියගිය පදිකයින් සංඛ්‍යාව 813ක්.
ඉන් බහුතරය අවුරුදු 55ත් 80ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් වීම විශේෂත්වයක්.
රියදුරන්ගේ නොසැලකිලිමත්කම සහ අපරීක්ෂාකාරී රිය ධාවනය මෙම බොහෝ අනතුරුවලට ප්‍රධාන හේතුව වී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.




