Published
කොළඹ වරාය අවට මුහුදේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ කොළඹ මහාධිකරණයෙන් නියෝග ලබාගෙන ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව ක්‍රියාත්මක කර තිබෙන ආකාරය පරික්ෂා කිරීම සඳහා එම පෙත්සම් අද යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම දැනුම්දීම සිදුකළා.
අදාල පෙත්සම් අද ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් සැප්තැම්බර් මස 25 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවට අනුව අපරාධ සහ සිවිල් අංශවලින් මෙම නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන තිබෙන පියවර විස්තර කරමින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා
මෙම නඩුකරයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් 14 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ මහාධිකරණයෙන් සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග ලබාගෙන තිබෙන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවා.
ඊට අමතරව එම අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් විමර්ශනයක් සිදු කරන බවත් ඔහු අධිකරණයට දන්වා සිටියා.
ඊට අමතරව සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම යටතේ මෙම සිද්ධියට අදාලව සිංගප්පූරුවේ පැවැත්වෙන බේරුම් කරන ක්‍රියාවලියක් සඳහා නොතීසි ලැබී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමුකරන බවත් ඔහු සඳහන් කළා.
මෙම නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ගන්නා සෑම පියවරක් ගැනම අධිකරණය දැනුවත් කොට අධිකරණ නියෝග මත පමණක් ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා පැවසුවා.
ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ කාදිනල් අපි උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිල්ශාන්ත සිරිමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නෞකා අනතුරට එහි දේශීය සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම වගකිව යුතු බව කියා සිටියා.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව ජනවාරි මස 23 වනදා වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් අදාළ සමාගම විසින් ගෙවා තිබිය යුතු වුවත් ඔවුන් ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 250ක් පමණක් යැයි පෙන්වා දුන් නීතිඥවරයා ඒ හරහා ඔවුන් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් චෝදනා කළා.
ඒ අනුව අදාල නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්යක්ෂවරු සතු වත්කම් සහ දේපළ ගැන ඔවුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කිසිදු ආකාරයකින් මෙම නඩුවේ තීන්දුව වෙනස් කළ නොහැකි බව පැවසුවා.
එම තීන්දුව ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහු කියා සිටියා.
මෙහිදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ නම් එය මෙම නඩුකරය ආරම්භ වූ දා සිට සිදු කළ යුතු බවත් පැවසුවා
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවසානයේදී සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමේ අන්තර්ගත කරුණු අධිකරණය විසින් අනුමත කරන බවයි.
ඒ අනුව අදාළ පාර්ශව සමග සාකච්ඡා කර මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව මෙම පෙත්සමේ විභාග කටයුතු අවසන් කිරීමට ද තීන්දු කළා.




