මෙවර පැවති කතරගම ඇසළ පෙරහර මංගල්‍ය කාලය තුල පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කළ වෙළදුන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂ පහකට අධික දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඇසළ මංගල්‍ය ආරම්භ වූ පසුගිය 15දා සිට 30 වනදා දක්වා කාලය තුල කතරගම නගරය, සෙල්ලකතරගම නගරය, වැඩසිටි කඳු පාමුල වෙළඳ සැල් සහ ආශ්රිත මාර්ගයන්හි වෙළඳසැල් පරීක්ෂාවට ලක් කළ බවයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තක්ෂිල මධුෂාන් මහතා පැවසුවේ.
එහිදී පිසූ ආහාර සහ මස් ඇතුළු අමු ආහාර ශීතකරණ තුල එකට ගබඩා කිරීම, ගුල්ලන් සහ පණුවන් සහිත ආහාර අළෙවි කිරීම, ලේබල් කොන්දේසි උල්ලංඝනය, කල් ඉකුත්වු බිස්කට්, ටොපි චොක්ලට්, ජල බෝතල් සහ සිසිල් බීම බෝතල් අලෙවිය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ එම වෙළදසැල්වලට එරෙහිව කතරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරූ බවයි ඔහු කියාසිටියේ.
මොනරාගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 30කට ආසන්න පිරිසක් මෙම වැටලීම් සඳහා සහභාගි වී තිබෙනවා.



