ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචි ආරච්චි වත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන සැකකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසෙල් වත්ත පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ සිටි කපිල චන්ද්‍රසේන මහතාව නාඳුනන බවත් රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී ඇති බවත් සඳහන් කළා.

ඇප තැබීම සඳහා පැමිණි මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් අධිකරණ කාර්ය මණ්ඩලය කළ පැමිණිල්ලකට අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසුවා.

සැකකරුවන්ට නිශ්චිත රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නැති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඇප තැබීම සඳහා මොවුන් ග්‍රාම නිලධාරි සහතික ලබා ගැනීම පිළිබඳ විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියම කළා.