ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තය ලෙස සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව විසින් බෝම්බ හෙළා තිබෙනවා.
අමෙරිකාව පවසන්නේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයකටම ප්‍රහාර එල්ල කළ බවයි.
ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි මෙම දූපත සැතපුම් 5ක පමණ දිගකින් යුක්ත වනවා.
ඉරානයේ ‘ඛනිජ තෙල් ජීවනාලිය’ ලෙස හැඳින්වෙන කාර්ග් දූපත, එරට ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසද හැඳින්වෙනවා.
ඒ අනුව ඉරානය සිය බොරතෙල් අපනයනයෙන් සියයට 90ක්ම සිදු කරන්නේ කාර්ග් දූපත හරහා බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඉරානයේ විශාලතම තෙල් ගැනුම්කරුවා වන්නේ චීනයයි.
චීනය තෙල් රැගෙන යන්නේද කාර්ග් දූපතෙන්.
ඒ අනුව කාර්ග් දූපතට එල්ල වන ඕනෑම ප්‍රහාරයකින් ඉරාන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර අමෙරිකාව කාර්ග් දූපතට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ඉරානය විසින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
ඒ, ඉරානයේ තෙල් හා බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස අමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන කලාපයේ තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවටයි.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ අමෙරිකානු හමුදා කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළද, තෙල් අපනයන මධ්‍යස්ථානවලට පහරදීමෙන් වැළකී සිටි බවයි.
මේ අතර ඉරාකයේ බැග්ඩෑඩ්හි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි හෙලිකොප්ටර් යානා අංගනයට මිසයිල ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
මිසයිල ප්‍රහාරය එල්ලවීමත් සමග එම කාර්යාල සංකීර්ණයෙන් දුමාරයක් පිට වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් මෙම ප්‍රහාරය හෝ හානිය සම්බන්ධයෙන් බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.




