කාවන්තිස්ස හස්තියාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ මහචාර්ය ආර්.ආර්.එම්.කේ.කේ. විජේසුන්දර මහතාට නියෝග කර තිබෙනවා.

කාවන්තිස්ස හස්තියා මිය යෑමේ සිද්ධියට අදාලව සිදු කරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා මිගලෑව වනජීවි අඩවි ආරක්ෂක වීරකෝන් මහතාට නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ මහාචාර්ය ආර්.ආර්.එම්.කේ.කේ. විජේසුන්දර මහතා අධිකරණයට එවා තිබු කාවන්තිස්ස හස්තියාගේ අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

කාවන්තිස්ස හස්තියා මරණයට පත්වීමේ සිද්ධියට අදාල නඩුව යලි කැදවූ අවස්ථාවේ මහාචාර්ය ආර්.ආර්.එම්.කේ.කේ. විජේසුන්දර මහතා අධිකරණයට එවා තිබූ කාවන්තිස්ස හස්තියාගේ අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිරීක්ෂණය කල මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා පැවසුවේ මහාචාර්යවරයාගේ අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තුල ප්‍රශ්ණාර්ථයක් තිබෙන බවයි.

ඊට හේතුව මෙම අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව කාවන්තිස්ස හස්තියාගේ මරණයට ශරීරයේ තිබු නිදන් ගත තුවාල තුන බලපා නැති බවද ප්‍රකාශ කල මහේස්ත්‍රාත්වරයා උදරයේ දකුණු පස වෙඩි ප්‍රහාර තුනක සලකුනු සහ ඒ තුල මූනිස්සම් තුනක් තිබී ඇති බවත් එහෙත් එම වෙඩි ප්‍රහාර හෝ මූනිස්සම් හේතුවෙන් ශරිරයේ අභ්‍යන්තර අවයව වලට හෝ ඉන්ද්‍රියන් වලට කිසිදු හානියක් සිදුව නැති බවද ප්‍රකාශ කළා.

මේ අතර කාවන්තිස්ස හස්තියාට වෙඩි වැදීමේ සිද්ධියට අදාල නඩුව මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනවිය ඉදිරියේ හෙට (25 ) යළි කැඳවීමට නියමිතයි.