සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට සළිඳු මල්ශික ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිඳුගේ සමීපතමයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා පයාගල ප්‍රදේශයේ රහසිගතව රැඳී සිටිමින් අවට ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවටයි මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙන්නේ.

ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පයාගල නිර්මලවත්ත හා කුඹුරුගොඩ යන ප්‍රදේශයන්හි කළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් එක් අයෙකු පැතුම් නොහොත් ‘පෙත්තා‘ යන නමැත්තෙක්.

අනෙක් පුද්ගලයා කවිඳු නොහොත් ‘කවියා‘ නමැත්තෙකු වනවා.

පැතුම් නොහොත් ‘පෙත්තා‘ නැමැත්තා ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 42,350ක් ද කවිඳු නොහොත් ‘කවියා‘ සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 48,170ක් ද සොයාගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ