ඉකුත්දා සියදිවි නසා ගත් කොටහේන ප්‍රදේශයේ පදිංචි පාසල් දැරිය, ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි චෝදනා කරමින් ගුරුවරයෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ජුලි මස 07 වනදා දැනුම් දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියම කළා.

ඒ, එම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියෙහි අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විමර්ශන සිදු කරන උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිණියන් අධිකරණයට දැනුම් දුන්නේ මියගිය දැරියගේ මවගෙන් සහ තවත් පාසල් සිසුවියන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

ඊට අමතරව ගුරුවරියකගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

මෙම විර්ශනවලට අවශ්‍ය කරන අදාළ පාසලේ සීසීටීවී කැමරාවල ඩි.වී.ආර් යන්ත්‍රය වෙනත් විමර්ශනයක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට රැගෙන ගොස් ඇති බවත් එය ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට කටයුතු කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.

එම යන්ත්‍රය ලබා ගැනීමට පමා වූයේ ඇයි දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා එය කඩිනමින් ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කරන ලෙසටයි පොලිසියට එහිදී නියෝග කළේ.

ඉන් අනතුරුව පැමිණිල්ල ජුලි මස 07 වනදා යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් පොලිසියට නියම කළා.